Thursday, June 28, 2018

කතා

"අැඹුල්"

ඔහු ඉතා හැඩි දැඩිය. උසට සරිලන මහත ය. ජිම් ගිය අැඟක් වැනි ය. යකඩ නොකෑ යකඩයෙක් ය. කිරුළපන පැත්තෙයි පදිංචිය. බොහෝ ගැන්සි හඳුනන නමුදු චණ්ඩියෙකු නොවේ ය. රෝද තුනේ වංඩියක් දිව්වේ ය. ඉගෙනුමට අවැසි රුපියල් සටන පිණිස නේක වූ අරගල විටින් විට ඉටු කළේය. එ්වා හරි අපූරු ජීවන හරඹ ය.

70/80 දශකවල ගීත ගොන්නක් එක්ක ඔහු විටින් විට තනියෙම අල්ලාප සල්ලාපයෙහි යෙදුණේ ය. රෝද තුනේ චිරි චිරිය ට වඩා ඔහුට අැහුණේ එ් ඉමිහිරි නාද ය. සරසවිය අැතුළෙත් පිටත් ඔහු බොහොම ජනප්‍රිය චරිතයක් විය. එ් ඔහු වින්දනීය මිනිසෙකු වීම නිසා ම ය. ඔහු ව කොක්කක් කරගන්න උත්සුක වූ සරසවි කිරිල්ලියන් අනන්තය. නමුදු එය උපාධියටත් වඩා අසීරු කටයුත්තක් විය. ඔහු වෙත දැමූ අැම සියල්ල පාහේ ගිල්ලේ වෙන උන් ය.

හැඩි දැඩි පිරිමි පපුවකට තුරුලු වෙන්නට නිල්වන් දෑස් තුළ අැත්තේ අප්‍රමාණ පිපාසයකි. ලාදුරු රෝගියෙකු නොවන සියලු ළඳුන් එහෙම පපුවක ගිලෙන්න කැමති ය. පුළුල් වූ උරහිසක සෙවණ ලබන්නට ඔවුන් පෙරේත ය. එ් ගැහැණු ගතිය යැයි කීම අශිෂ්ට නොවේ යැයි සිතමි.

පොත්තෙ රහට, පුළුලුකුළට, නා දළු වන් දෙතොල් වලට, කොටින් ම කිව්වොත් සංදේශ වැනුම් වල වැයෙන ළඳකගේ පහස ලබන්නට ඔහු තුළ දැවෙන අාසාවක් නොතිබුණ ද කැරකෙන කොට බඹරෙත් වැල්ලෙ කැරකෙන වග කලෙකදී තියරි වලින් ඔබ්බට ගොස් සරසවියේ දී ම ඔහු උගත්තේ ය. එ් ඔහුගේ වාසනාව යැයි වටේ හිටි බොහෝ අය කටින් තුටු වුව ද යටින් හීනියට තැවුණ බව ඔහු හොඳින් ම දැන සිටියේ ය. ඔහු අන්දවන්න සක්විතිටත් බැරි ය.

සරසවි වරමින් උපරිම ඵල නෙළා ගත්තේ ඔහු අනේක කම්කටොලු මධ්‍යයේ ය. 'එ් කට්ට හරි රහයි බං' යැයි ඔහු අපට කියා අැත. එ් රහට අප වහ වැටෙන්නට අැත්තේ ද එහෙයිනි. උපාධියෙන් පසුව රාජ්‍ය තාන්ත්‍රික පහස ලබන්නට දැන හැඳුනුම්කම් බොහොමයක් තිබුණි ද ඔහු උගත් ජීවිතයෙන් බිඳක්වත් නොසඟවා ජීවිතයේ රස, නීරස ඔස්සේ දහසක් දූ පුතුන්ගේ ජීවිත එළිපෙහෙළි කරන්නට පිබිදුණු මනසින් තීරණය කරන්නේ ය. එහෙයින් ඔහු දුයිෂෙන් කෙනෙකු වී අප හදවත්වල ලැගුම් ගත්තේ ය. අපි ඔහුගේ හදවතේ ලැග්ගෙමු.

උපාධියට අමතර ව ජීවිතයේ ඔහු ලද අපරිමිත ජයග්‍රහණය ඔහුගේ සරසවි ප්‍රේමය යි. ඔහු අැයට නොකිළිටි මනසින් ම පෙම් කළේ ය. අනේකවිධ තාඩන පීඩන තර්ජන ගර්ජන වින්දේ ය. අසන්නට තිබූ තුප්පහි කතා සියල්ල සිනහා වී දරා ගත්තේ ය. ප්‍රේමය නම් එය යි. ඔහුට එ් කිසිවක් ම අදාල නැත. 'අැය' පමණක් ම ඔහුගේ 'සියල්ල' විය. විවාහය දක්වා ම එ් ප්‍රේම වෘතාන්තය ගලා යන්නේ එහෙයිනි. එ් සෙනෙහස ය.

ඉන් පර ව සිදු වූ දෑ අකුරු කරනට බැරි තරම් මම අසරණ ව තැවෙමි. මෙතැනින් එහාට මේ ජීවිතේ පෙරලුනු පිටු මා හදවත නිරතුරු ම තෙත් කරන්නේ ය. එවිට මට සිහිවන කවියක් අැත. 'මාලතී කල්පනා අැම්බ්‍රෝස්' නම් කිවිඳිය විසින් සුරචිත "ඔබ ගැඹුරු නින්දක" කෘතියේ එන මේ කාව්‍යර්ධය 'එ් කවියට' ඉතා ළඟ ය.

"ඉතිං එ් දේ උනේ හිතපු නැති වෙලාවක
ටක්කෙට ම කීව හැකි අඹරැල්ල අවාරෙක
'නරක් වුණ වකුගඩුව වැඩක් නැහැ තියාගෙන'
දොස්තරගෙ හඬ අැහුණෙ ගල් ගැහුණු විරාමෙක"

මම අදටත් එ් 'කවිය' හා දැවෙමි. සැබැවින් ම 'ජීවිතය' හරි 'අැඹුල්'...

No comments:

Post a Comment