Thursday, June 28, 2018

කතා

ජීවිතේ සමහර හිඩැස් පුරවන්න හරි අමාරුයි. එ් හිඩැස් අතරත් තැනින් තැන රිදුම් කැටි ගැහිලා. දියවෙච්ච රිදුම් කැටි විටින් විට අැස් වලින් බේරෙද්දි පපුව ගිනි ගන්න විදියට ජීවිතේ ම අළුවෙලා ගියා නම් කියලා දැනෙන වාර අනන්තයි. එ්ත් උඩුගං බලා පීනන්න සිද්ධ වෙලා තියෙන නිසා ම ජීවන ගංතෙරෙන් එතෙර වෙන්න ලෙහෙසියෙන් බෑ. මේ මහ පොළොවේ සමහර තැන්වල තිබ්බ බර අඩි පාරවල් මකන්න බෑ. එ්ක හරි වේදනාකාරියි.

හය හතර තියා මෙලෝ හසරක් නොතේරෙන කාලෙදි අම්මාගේ පපුවේ උණුසුම වෙනුවට තාත්තගේ ගිනි ගන්න පපුව උඩ පිච්චෙන්න සිද්ධ වුණා මට. තාත්තා එ් ගින්දර නිවාගත්තේ ගිනි වතුරෙන් ම යි කියලා යාන්තම් තේරීගෙන එන වයසේ දී එයා එ් ගිනිවතුරෙන් ම අළුවෙලා ගියා. හැබැයි එයා මට මුදලින් ලැබිය යුතු හැමදේ ම ඉතිරි කරලයි ගිහින් තිබ්බේ. මං තේරෙන විදියට කාලය ගෙව්වා.

තනියෙම උස්මහත් වෙද්දි තාත්තගේ යහළුවෝ මං ගැන හරි හරියට හොයලා බැලුවා. එක එක කාලෙට එක එක්කෙනා මගේ තනි මැකුවා. දන්නෙ ම නැතුව කාලේ ගෙවුණා. තාත්තගේ යාළුවෙක් එක්ක දවසක් රෑ කෑමකට එළියට ගිය වෙලාවක කොල්ලුපිටියේ කැරෝකි ක්ලබ් එකක ඩාන්ස් කරන්නත් අපි ගියා. එතනදි මට මං වගේ ම එකියක් මුණ ගැහුණා. එ්කී එක්ක මමත් එ් ක්ලබ් එකේ ම වැඩ පටන් ගත්තා.

මට ප්‍රශ්නයක් තියෙනවා උඹෙන් අහන්න.

අහපන්

අැයි උඹ කිසි වෙලාවක හිනා වෙන්නෙ නැත්තෙ අනික් මිනිස්සු එක්ක?

මං උඹ එක්ක හිනා වෙනවානේ...

මං අැහුවේ වෙන උන් එක්ක ?

උන් අපිට පුකෙනුත් හිනාවෙන්න පටන් ගනියි කියන බයට බං.

එ් එ්කී මගෙන් අැහුව අන්තිම ප්‍රශ්න ටික. එතනින් එහාට එ්කි මා එක්ක කතා බහ කළා අැරෙන්න කිසිම වෙලාවක කිසිම දෙයක් ගැන ප්‍රශ්න කළේ නෑ මට මතක අැති කාලෙක. ඊට පස්සෙ දවසක මට සිද්ධ වුණා එ්කිගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න. එ් මට වෙන කවුරුත් ම එ් ප්‍රශ්නවලට උත්තර සපයන්න සූදානම් වෙයි කියලා දැනුණත් එ්කී තරම් මට වෙන එකෙක්වත් විශ්වාස නැති නිසා.

උඹ එකපාරක් දතක් ගැලෙව්වා නේද?

ඔව්... අැයි?

මාවත් එහෙට එක්කන් පලයන්...

එ්කි අැයි කියලා අැහුවාම මං දුන්න උත්තරේ නියෝගයක් වගේ දැනුණට එ් මගේ කතාබහේ හැටි. එ්ත් මං දත ගැලෙව්වෙ නෑ. පැහැවන්න ඉඩදෙන්න තීරණය කළා. මට දුක හිතුණා එ් දත ගලවන්න. මට එච්චර පව්කාරියක් වෙන්න බෑ.

මාසෙකින් බැලුව රිපෝට් එකේ HIV පොසිටිව් වුණාම ජීවිතේ ම නෙගෙටිව් වෙයි කියන බයට අැස් වටේ කළු හෝද ගෙන යන තරම් මට අැඩුණා. ජීවිතේ ට තනියෙම දරගන්න වෙන තවත් රහසක් එකතු වුණා. රංගි විතරක් අනෙක් රහස් වගේ ම මේ රහසත් දැන ගත්තා. අපි දෙන්නා වෙන ම බෝඩිමක නැවතුණා.

මාත් මගේ වර්ගයේ ම එකියකගේ අම්මා කෙනෙක් වෙද්දි එ්කීට තාත්තා කෙනෙක් හිටියේ නෑ. අම්මලා දෙන්නෙක් ළඟ හැදුන වැඩුන විශේෂ එකියක් මගේ දෝණි. එ්කි කාගේ වුණත් මායි එ්කිව වැදුවේ. ඉතින් අපි එ්කිට අසීමිත ව අාදරේ කළා. එ්කිත් අපිට පණ අැරලා. මට තව වැඩි කාලයක් නෑ. උඹ එ්කිව බාරගන්න ඔ්නි කියද්දි රංගි එ්ක අණ කිරීමක් විදියට බාරගත්තෙ නෑ. එ්කි කළේ එකිගේ කඳුළු වලින් මගේ සර්වාංගෙ ම පොඟවපු එක විතරයි. මගේ හදවත මිට මොළවගෙන එ්කිට බාර දෙන තරමට මං එ්කිව තදින් සිපගත්තා. අපි දෙන්නට ම කඳුළු වල ලුණු රහ හුරු නිසා කිසිම අප්පිරියාවක් තිබුණේ නෑ.

දෝණි මේ අර මං ඔයාට දුන්න ඩයරියේ අඩුවෙච්ච පිටුව. දැන් ඔයාට එ් පිටුව කියවන්න අවසර දෙන්න පුළුවන් වයසක්...


No comments:

Post a Comment