Friday, July 6, 2018

බද්දට ගත් කාරයක් වගේ බං 'ජීවිතේ' !
--------------------------------------------------------------



පැද්දාට අයිතියක් නැති
පොත වෙන තැනක ඇති
දිව්වාට ජොලියක් නැති
ජිවිතේ හොඳටෝ ම හති

වරක් හිරවුණොතින් හේම
සැනසුමක් නෑ ඉල්ලන්නෙ ම ගේම
කළින් තිබුණාට පෙම
එළිවෙන ජාමෙටයි රඟපෑම

ජීවිතේ කොතැනක ද නිවනක්
මේක බෙල්ල හිරකරන ගිරයක්
දැම්මාට අලුත් ගියරයක්
දිගටෝ ම දුවනව ද කාරයක් ?

තෙල් වලින් ලේ උරන
ටයර ගෙවෙනකන් දුවන
ඒ/සී වලින් දාඩිය ම බොන
සීට් බෙල්ටයෙන් හිරකරන

පස්ස බලන කොට කණ්නාඩියෙන්
පිටුපසින් සීනු උඩ නැගන්
ඇවිත් හරි වේගයෙන්
ප්‍රයිවට් බස් වගේ සැරයි ලීසිං

අනුන්ගේ බූදලයක් ද ජීවිතේ ?
වුණේ හැමදා ම පෙඟෙන්නයි මීවිතේ
නීතියත් එල්ලිලා ඉලපතේ
අපිට ම තලයි බුදිමතේ...

Sunday, July 1, 2018

කවි

අඳුරෙදි හිනැහෙන තරු ඇස්
අඬන්නෙ තනියෙම මහ දවල්
රැයේ පිබිදෙන කඩොපුල්
දන්නවා ඒ හැම රහස්

පරවෙනා හැම මලක් යට
ඇහැරිලා තිබුණු සුවඳක් ඇත
මත්වෙනා හැම තොලක් මත
ලුණු රහක මතකයක් ඇත

සඳට අවනඩු කියා ඵලක් නැත
තෙහෙට්ටුය හැම රෑ ම ගත සිත
ඉර තලන කොට අද-හෙට
වමත් දකුණත් හැරෙයි උතුරට

හබලක් නැතුව ඔරුවකට
පාවෙන්න වාරු කොයින්ද?
ටොන් ගණන් බර නැව්වලට
හිතක් පපුවක් කොයින්ද?

ඊසාන දෙසින් හමා එන
සැඩ පරුෂ මාරුතය
වැලමිට වංගුවක් ගෙන
හැප්පෙනව සියොළඟ ම

මේ වගේ කොදෙව්වක
නොමැරී මැරෙන හිත්
නැංගුරම් ලා නොතබා ම තිත්
ඉවසන එක ම අරුමය...

Thursday, June 28, 2018

කතා

"අැඹුල්"

ඔහු ඉතා හැඩි දැඩිය. උසට සරිලන මහත ය. ජිම් ගිය අැඟක් වැනි ය. යකඩ නොකෑ යකඩයෙක් ය. කිරුළපන පැත්තෙයි පදිංචිය. බොහෝ ගැන්සි හඳුනන නමුදු චණ්ඩියෙකු නොවේ ය. රෝද තුනේ වංඩියක් දිව්වේ ය. ඉගෙනුමට අවැසි රුපියල් සටන පිණිස නේක වූ අරගල විටින් විට ඉටු කළේය. එ්වා හරි අපූරු ජීවන හරඹ ය.

70/80 දශකවල ගීත ගොන්නක් එක්ක ඔහු විටින් විට තනියෙම අල්ලාප සල්ලාපයෙහි යෙදුණේ ය. රෝද තුනේ චිරි චිරිය ට වඩා ඔහුට අැහුණේ එ් ඉමිහිරි නාද ය. සරසවිය අැතුළෙත් පිටත් ඔහු බොහොම ජනප්‍රිය චරිතයක් විය. එ් ඔහු වින්දනීය මිනිසෙකු වීම නිසා ම ය. ඔහු ව කොක්කක් කරගන්න උත්සුක වූ සරසවි කිරිල්ලියන් අනන්තය. නමුදු එය උපාධියටත් වඩා අසීරු කටයුත්තක් විය. ඔහු වෙත දැමූ අැම සියල්ල පාහේ ගිල්ලේ වෙන උන් ය.

හැඩි දැඩි පිරිමි පපුවකට තුරුලු වෙන්නට නිල්වන් දෑස් තුළ අැත්තේ අප්‍රමාණ පිපාසයකි. ලාදුරු රෝගියෙකු නොවන සියලු ළඳුන් එහෙම පපුවක ගිලෙන්න කැමති ය. පුළුල් වූ උරහිසක සෙවණ ලබන්නට ඔවුන් පෙරේත ය. එ් ගැහැණු ගතිය යැයි කීම අශිෂ්ට නොවේ යැයි සිතමි.

පොත්තෙ රහට, පුළුලුකුළට, නා දළු වන් දෙතොල් වලට, කොටින් ම කිව්වොත් සංදේශ වැනුම් වල වැයෙන ළඳකගේ පහස ලබන්නට ඔහු තුළ දැවෙන අාසාවක් නොතිබුණ ද කැරකෙන කොට බඹරෙත් වැල්ලෙ කැරකෙන වග කලෙකදී තියරි වලින් ඔබ්බට ගොස් සරසවියේ දී ම ඔහු උගත්තේ ය. එ් ඔහුගේ වාසනාව යැයි වටේ හිටි බොහෝ අය කටින් තුටු වුව ද යටින් හීනියට තැවුණ බව ඔහු හොඳින් ම දැන සිටියේ ය. ඔහු අන්දවන්න සක්විතිටත් බැරි ය.

සරසවි වරමින් උපරිම ඵල නෙළා ගත්තේ ඔහු අනේක කම්කටොලු මධ්‍යයේ ය. 'එ් කට්ට හරි රහයි බං' යැයි ඔහු අපට කියා අැත. එ් රහට අප වහ වැටෙන්නට අැත්තේ ද එහෙයිනි. උපාධියෙන් පසුව රාජ්‍ය තාන්ත්‍රික පහස ලබන්නට දැන හැඳුනුම්කම් බොහොමයක් තිබුණි ද ඔහු උගත් ජීවිතයෙන් බිඳක්වත් නොසඟවා ජීවිතයේ රස, නීරස ඔස්සේ දහසක් දූ පුතුන්ගේ ජීවිත එළිපෙහෙළි කරන්නට පිබිදුණු මනසින් තීරණය කරන්නේ ය. එහෙයින් ඔහු දුයිෂෙන් කෙනෙකු වී අප හදවත්වල ලැගුම් ගත්තේ ය. අපි ඔහුගේ හදවතේ ලැග්ගෙමු.

උපාධියට අමතර ව ජීවිතයේ ඔහු ලද අපරිමිත ජයග්‍රහණය ඔහුගේ සරසවි ප්‍රේමය යි. ඔහු අැයට නොකිළිටි මනසින් ම පෙම් කළේ ය. අනේකවිධ තාඩන පීඩන තර්ජන ගර්ජන වින්දේ ය. අසන්නට තිබූ තුප්පහි කතා සියල්ල සිනහා වී දරා ගත්තේ ය. ප්‍රේමය නම් එය යි. ඔහුට එ් කිසිවක් ම අදාල නැත. 'අැය' පමණක් ම ඔහුගේ 'සියල්ල' විය. විවාහය දක්වා ම එ් ප්‍රේම වෘතාන්තය ගලා යන්නේ එහෙයිනි. එ් සෙනෙහස ය.

ඉන් පර ව සිදු වූ දෑ අකුරු කරනට බැරි තරම් මම අසරණ ව තැවෙමි. මෙතැනින් එහාට මේ ජීවිතේ පෙරලුනු පිටු මා හදවත නිරතුරු ම තෙත් කරන්නේ ය. එවිට මට සිහිවන කවියක් අැත. 'මාලතී කල්පනා අැම්බ්‍රෝස්' නම් කිවිඳිය විසින් සුරචිත "ඔබ ගැඹුරු නින්දක" කෘතියේ එන මේ කාව්‍යර්ධය 'එ් කවියට' ඉතා ළඟ ය.

"ඉතිං එ් දේ උනේ හිතපු නැති වෙලාවක
ටක්කෙට ම කීව හැකි අඹරැල්ල අවාරෙක
'නරක් වුණ වකුගඩුව වැඩක් නැහැ තියාගෙන'
දොස්තරගෙ හඬ අැහුණෙ ගල් ගැහුණු විරාමෙක"

මම අදටත් එ් 'කවිය' හා දැවෙමි. සැබැවින් ම 'ජීවිතය' හරි 'අැඹුල්'...

කතා

ජීවිතේ සමහර හිඩැස් පුරවන්න හරි අමාරුයි. එ් හිඩැස් අතරත් තැනින් තැන රිදුම් කැටි ගැහිලා. දියවෙච්ච රිදුම් කැටි විටින් විට අැස් වලින් බේරෙද්දි පපුව ගිනි ගන්න විදියට ජීවිතේ ම අළුවෙලා ගියා නම් කියලා දැනෙන වාර අනන්තයි. එ්ත් උඩුගං බලා පීනන්න සිද්ධ වෙලා තියෙන නිසා ම ජීවන ගංතෙරෙන් එතෙර වෙන්න ලෙහෙසියෙන් බෑ. මේ මහ පොළොවේ සමහර තැන්වල තිබ්බ බර අඩි පාරවල් මකන්න බෑ. එ්ක හරි වේදනාකාරියි.

හය හතර තියා මෙලෝ හසරක් නොතේරෙන කාලෙදි අම්මාගේ පපුවේ උණුසුම වෙනුවට තාත්තගේ ගිනි ගන්න පපුව උඩ පිච්චෙන්න සිද්ධ වුණා මට. තාත්තා එ් ගින්දර නිවාගත්තේ ගිනි වතුරෙන් ම යි කියලා යාන්තම් තේරීගෙන එන වයසේ දී එයා එ් ගිනිවතුරෙන් ම අළුවෙලා ගියා. හැබැයි එයා මට මුදලින් ලැබිය යුතු හැමදේ ම ඉතිරි කරලයි ගිහින් තිබ්බේ. මං තේරෙන විදියට කාලය ගෙව්වා.

තනියෙම උස්මහත් වෙද්දි තාත්තගේ යහළුවෝ මං ගැන හරි හරියට හොයලා බැලුවා. එක එක කාලෙට එක එක්කෙනා මගේ තනි මැකුවා. දන්නෙ ම නැතුව කාලේ ගෙවුණා. තාත්තගේ යාළුවෙක් එක්ක දවසක් රෑ කෑමකට එළියට ගිය වෙලාවක කොල්ලුපිටියේ කැරෝකි ක්ලබ් එකක ඩාන්ස් කරන්නත් අපි ගියා. එතනදි මට මං වගේ ම එකියක් මුණ ගැහුණා. එ්කී එක්ක මමත් එ් ක්ලබ් එකේ ම වැඩ පටන් ගත්තා.

මට ප්‍රශ්නයක් තියෙනවා උඹෙන් අහන්න.

අහපන්

අැයි උඹ කිසි වෙලාවක හිනා වෙන්නෙ නැත්තෙ අනික් මිනිස්සු එක්ක?

මං උඹ එක්ක හිනා වෙනවානේ...

මං අැහුවේ වෙන උන් එක්ක ?

උන් අපිට පුකෙනුත් හිනාවෙන්න පටන් ගනියි කියන බයට බං.

එ් එ්කී මගෙන් අැහුව අන්තිම ප්‍රශ්න ටික. එතනින් එහාට එ්කි මා එක්ක කතා බහ කළා අැරෙන්න කිසිම වෙලාවක කිසිම දෙයක් ගැන ප්‍රශ්න කළේ නෑ මට මතක අැති කාලෙක. ඊට පස්සෙ දවසක මට සිද්ධ වුණා එ්කිගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න. එ් මට වෙන කවුරුත් ම එ් ප්‍රශ්නවලට උත්තර සපයන්න සූදානම් වෙයි කියලා දැනුණත් එ්කී තරම් මට වෙන එකෙක්වත් විශ්වාස නැති නිසා.

උඹ එකපාරක් දතක් ගැලෙව්වා නේද?

ඔව්... අැයි?

මාවත් එහෙට එක්කන් පලයන්...

එ්කි අැයි කියලා අැහුවාම මං දුන්න උත්තරේ නියෝගයක් වගේ දැනුණට එ් මගේ කතාබහේ හැටි. එ්ත් මං දත ගැලෙව්වෙ නෑ. පැහැවන්න ඉඩදෙන්න තීරණය කළා. මට දුක හිතුණා එ් දත ගලවන්න. මට එච්චර පව්කාරියක් වෙන්න බෑ.

මාසෙකින් බැලුව රිපෝට් එකේ HIV පොසිටිව් වුණාම ජීවිතේ ම නෙගෙටිව් වෙයි කියන බයට අැස් වටේ කළු හෝද ගෙන යන තරම් මට අැඩුණා. ජීවිතේ ට තනියෙම දරගන්න වෙන තවත් රහසක් එකතු වුණා. රංගි විතරක් අනෙක් රහස් වගේ ම මේ රහසත් දැන ගත්තා. අපි දෙන්නා වෙන ම බෝඩිමක නැවතුණා.

මාත් මගේ වර්ගයේ ම එකියකගේ අම්මා කෙනෙක් වෙද්දි එ්කීට තාත්තා කෙනෙක් හිටියේ නෑ. අම්මලා දෙන්නෙක් ළඟ හැදුන වැඩුන විශේෂ එකියක් මගේ දෝණි. එ්කි කාගේ වුණත් මායි එ්කිව වැදුවේ. ඉතින් අපි එ්කිට අසීමිත ව අාදරේ කළා. එ්කිත් අපිට පණ අැරලා. මට තව වැඩි කාලයක් නෑ. උඹ එ්කිව බාරගන්න ඔ්නි කියද්දි රංගි එ්ක අණ කිරීමක් විදියට බාරගත්තෙ නෑ. එ්කි කළේ එකිගේ කඳුළු වලින් මගේ සර්වාංගෙ ම පොඟවපු එක විතරයි. මගේ හදවත මිට මොළවගෙන එ්කිට බාර දෙන තරමට මං එ්කිව තදින් සිපගත්තා. අපි දෙන්නට ම කඳුළු වල ලුණු රහ හුරු නිසා කිසිම අප්පිරියාවක් තිබුණේ නෑ.

දෝණි මේ අර මං ඔයාට දුන්න ඩයරියේ අඩුවෙච්ච පිටුව. දැන් ඔයාට එ් පිටුව කියවන්න අවසර දෙන්න පුළුවන් වයසක්...


කතා


'එයා තමයි අපේ වත්තෙ හිටිය ලස්සන ම කෙල්ල' කියලා මට කියන්න හිතක් නැති වුණත් අැත්තට ම එයා තමයි මගේ හිතේ හිටපු සුන්දර ම කෙල්ල. එයාට තිබ්බෙ බොරපාට බළල් අැස්. එ්වා හරි ලොකුයි. ඊටත් වඩා හිත ගියේ මට එයාගේ දිග ම දිග නොවුණත් කැරළි ගැහුණ මඳක් අවුල් වෙලා වගේ තිබ්බ කොණ්ඩෙට. එ් අවුල හිතේ කිසිම අපුලක් අැති නොකරපු අවුලක්. එයා සුදු නෑ. කළුත් නෑ. තලෙළුයි කියලා කිව්වට එහෙමමත් නෙවෙයි. අනේමන්දා, එ්කට වෙන්නැති පැහැපත් කියන්නෙ. මට එ්ක කියන්න හරි හැටි තේරුමක් නෑ.

අපේ වත්තෙ පහළ කෙළවරේ ම තිබ්බා පුංචි පිං ළිඳක්. ඊට එහායින් වෙල. හරි ම ලස්සනයි එ් වටපිටාව. පිං ළිඳේ නාන්න යන්න පොරේ අපි එ් දවස්වල. එ්ත් දැන් එ් ළිඳත් නෑ. වෙලෙන් බාගෙකුත් නෑ. ඉතින් මං දැන් එයාව දකින්නෙ හරි කලාතුරකින්. එළියට පහළියට බහින්නෙත් නැති තරම් දැන් එයා. මට තේරෙන්නෑ මොකද්ද මේ වෙනස...

වටපිටාවේ තිබ්බ ගෙවල් පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙන්න පටන් ගන්නවත් එක්ක ම අපේ ගේත් ටිකක් වෙනස් වෙන්න පටන් ගත්තා. අපේ කොන්ක්‍රීට් වැට අස්සෙන් බැලුවා ම දැන් වටෙන්ම අැහේ වදින්නෙ නානාප්‍රකාර අායිත්තම් වැඩ දාපු සිමෙන්ති ගලෙන් බැඳපු තාප්ප. එක එක පාට යි. හුඟක් ගේට්ටු නම් හැබැයි කළුපාට. අපේ ගේට්ටුව ග්‍රිල් ගේට්ටුවක් නිසා ගෙයි සාලෙට ම ඔ්ප දූප ටික පේනවා. අපේ මිදුලේ ඉස්සරහ කෙළවරේ තිබුණා යාේධ බට පඳුරක්. එ්ක ළඟ ම අප්පච්චි හදලා තිබුණා කොන්ක්‍රීට් වට මේසයක් ගල් බංකුත් එක්ක. මං ගෙදර අාපු දාට වැඩියෙන් ම කල් අැරියේ එතන ඉඳන්. ඉඳගෙන ටික වෙලාවක් යද්දි පස්ස රත්වෙන්න අැල්ලුවත් මං හරි කැමතියි එතනට. හුළඟක් අැගේ වැදුනේ එතන දි විතරයි.

මේ ළඟදි දවසක කාලෙකින් මං එයාව දැක්කා. එයාගේ අම්මත් එක්කලා කොහෙදෝ යන්න එළිබැස්සා. මං විගහට අැදුනේ බට පඳුර ගාවට. එයත් මාව දැක්කා. හිනාවුණා. එයා හරි ම අහිංසකයි. නිරහංකාරයි. නිහතමානියි. එ්ත් මොකද්දෝ අමුත්තක්, වෙනසක් දැනුණා මට. හිතාගන්න අමාරුයි. මොකද්ද මේ වෙනස...

"කොහෙද නැන්දේ, බැහැරක්වත් ද?"

"ඔව් පුතේ, කොළඹ යනවා"

"අර මොකද නැන්දේ තකහනියේ?"

"අද මේ කෙලීගේ ක්ලීනික් දවසනේ..."

එදා එයා කොළඹ ගියේ හැට් එකකින් මුළු කොණ්ඩෙ ම හංගගෙන. හැබැයි එ් අැස්වහ වදිනවට නම් නෙවෙයි කියලා පස්සෙ මට තේරුණා. වුණේ මං හිටි තැන ම අපුලක් නැතුව ගල් ගැහුණ එක විතරමයි.


කතා

නුවර වැවට බිලි වුණ හීනයක් !



නුඹට මම හමුවුණ තැනත් එතැන. මට නුඹ ව හමුවුණ තැනත් එතැන. එත් අපට අපි හමුනොවුණ තැනත් එතැන ම යි. මට මුල්ම දවසේ දැනුණෙ නුඹ මගේ හුස්ම ටිකෙන් ටික උදුර ගන්නවා වගේ හැඟීමක්. මං ටිකක් තිගැස්සුනේ එතකොට.

නුවර වැවේ රළ බිඳෙන හඬට මට අැහෙන්නෙ ම අපි මේ නුවර වැව රවුමේ තනිවෙච්ච හෝරාවල දෝංකාරය. රොබරෝසියා මල් වැටුණ පාර දිගේ අැවිද යන අපේ මතක පෙති මට තැන් කිහිපයක දී ම මුණගැහුණා. අතරින් පතර අපිව හඳුනන එදා වාගෙ ම අදටත් තරුණ ගල් බංකු මගෙන් නුඹ ගැන අහද්දි අැස්වලින් වැටුණේ හීතල ම හීතල පිණි පොකුරු. එ් දවස් වල මගේ දකුණු උරහිසට මේ තරම් තනිකමක්, පාළුවක් දැනුණේ නෑ කවදාවත් ම.

හන්තාන කඳු මුදුන තරම් උසට අපි මවපු හීන නොහිතුව තරම් ඉක්මණට රූරා වැටෙද්දි පහළට මගේ පපුවත් ටිකෙන් ටික කඩා වැටෙන්න පටන් ගත්තා. පේරාදෙණිය සරසවියට එතෙර වුණ නුඹ මා මෙහි තබා නික්ම යන වගක් එ් එක හීනෙකවත් දැකලා නොතිබුණ එකයි වාව ගන්න අපහසු ම. එ්ත් මට හිතෙන්නෙ නුඹ එක්ක අායෙමත් එ් හීනෙ පුරා අැවිදින්න.

හැම ඉරිදා ම එදා වාගේ ම අදත් මං තාමත් මේ වැව රවුමට එනවා. හැබැයි දැන් තනියෙම. එ් අැවිල්ලත් හොයන්නෙ ම නුඹ ව. සිහින් කැරළි සහිත පිරුණු හිස කෙස් අැති සිහින් සිරුරක් දුටු වහා ම මගේ නෙත් අද්දර ට පාත් වෙන්නෙ නුඹේ චායාව. එ් කාලෙට වඩා මං දැන් මේ තනිකමත් එක්ක අපේ ප්‍රේමයට එ් සුන්දර අතීතයට අැබ්බැහි වෙලා. මට ගැලවෙන්න අමාරුයි. අැත්තට ම මං දැන් නුඹේ වහලෙක් වෙලා. බොරු නම් ඔය වෙද නලාව මගේ පපුවට තියලා අහන් ඉන්න.

දෙකම්මුල් වළ ගැහෙන සිඟිත්තෙක් දැක්කා ම මට මතක් වෙනවා අපි දෙන්නා මවපු අපේ පොඩිත්තන් ව. ඔයාට මතක ද මං කිව්වා දවසක් "මං අාස ම නිවුන් පැටවුන්ට". උන් එක්ක මං තාමත් යටි හිතෙන් කෙළිදෙළෙන් නිතර ම. උන්ට එක වගේ අන්දලා අත්දෙකට වඩා ගෙන වළගැහෙන දෙකම්මුල් මගේ හාද්දකින් පුරවන්න මං හරි අාසාවෙන් උන්නෙ. මගේ හීනේ හිටපු නුඹ මේ විදියට අභිනික්මන් කරයි කියලා නොහිතුන එකයි උහුලන්න බැරි. එ්ත්, මං නුඹට තාමත් අාදරෙයි... මගේ හිත තාමත් නුඹ එක්ක සක්මන් භාවනාවක.


කතා

හීනෙන්වත් නැද්ද අවසර ?



උදේ අැහැරෙන්න හරි ලෝබ හිතුණා මට. මං අැස් අැරලා හිටියට තාමත් අඩ නින්දෙ. රැය හරි ම නිහඬයි තමයි මැදියමට. හරියට නුඹ වාගෙමයි. එ්ත් හිත යට මහා දෝංකාරයක් බෙරිහන් දෙනවා. හරියට ඉස්සර අපි බොරුවට රණ්ඩු වෙනවා වගේ. හැබැයි පුදුමෙ කියන්නෙ එ් වලි වාගේ ම එ් දෝංකාරය මාව සනහනවා. අාදරේ වැඩියි එතකොට. මං එහෙම නින්දකට අාසයි. පෙරේතයි. අැත්තමයි !

ඉරට හඳට උපමා කරලා ඔයාව එතන තනි කරලා අැහැරෙන්න මට ලෝබයි. හැබැයි ඉර හඳ වගේ ම මගේ හිත නොමියෙන තැනක නතරවෙලා. මට තියෙන එක ම ප්‍රශ්නෙ ඔයා ඉර ද ? හඳ ද? එක දෙයක් නම් සහතිකයි ! ඉර හඳ වගේ ම අල්ලගෙන ළඟ ම තියා ගන්න බැරි ක්ෂිතිජයක මගේ හුස්ම උඩ බිම බලනවා මට දැනෙනවා.

"අාත්ම ගණන් පෙරුම් පුරාගෙන අාවේ ඔයාවයි මං" කියලා බොළඳ සුරංගනා කතා කියන්න අාස නෑ. ඔයාට නොදැනුණාට අපි තාමත් ඉඳහිට හමුවෙනවා දොඩමළු වෙනවා. එදා වගේ ම අායෙත් අපි වෙන්වෙනවා. හරියට මැච් එකක හයිලයිට් පෙන්නනවා වගේ අපේ අතීතය මාව ලුහුබඳිනවා. එ් ගැන මගේ හිත අැරුණා ම වෙන කවුරුත් දන්නෙ නෑ. එ් කාලේ ඉඳන් අදටත් අපි රකින රහස් වගේ එ්වා හරි සුන්දරයි. මං හිතන විදියට ඔයාවත් එ් ගැන හරිහැටි දන්නෙ නෑ. එ්කට මට තරහා නෑ. එ්ක ස්වභාවිකයි. අපි වෙන්වුණා වාගෙ ම යි. අපිට වුණත් එ් සොබාදහමට අවනත වෙන්න සිද්ධ වුණා. එ්ක දෙෙවය නෙවෙයි හැබැයි වෙන එකක්.

ඔය චිත්‍රපටිවල, සමහර නාට්ටිවල වගේ දහසකුත් බාධක මැද ජය ගන්න ප්‍රේම වෘතාන්තයක් අපේ සැලෝලයිට් පටියට අහුවෙලා නැතුවැති. එහෙම අහුවුණා නම් දැන් අපි ලෙහාගන්න බැරි විදියට පැටලිලා මේ වෙද්දි. එ් තරම් හැම රෑක ම වගේ මං හරි හරියට පොරබදිනවා මා එක්ක ම. මගේ නින්ද ළඟවත් සදාතනික ව තුරුළු කරගන්න අයිතියක් නැද්ද මට ඔයාව. අඩු ම ගානේ අවසරයක්වත් ?

"සුදු පුතා... ඔය තේ එක අැල්වෙනවා බං. මට බෑ අායිමත් ඔ්ක රත් කර කර ඉන්න. නැගිටල ඔ්ක බීලා නිදාගනින්."

වසන්තය කෙසේවෙතක් බාල්දි නම් පෙරලෙනවා සත්තයි...!

විවිධ

අපි හැමෝගෙම මතක පොත දිග අැරලා එ් පිටු එකින්නෙක සීරුවෙන් පෙරළලා බැලුවොතින් හමුවේවි එක තැනක්. එතන අපි බොහෝ වෙලා නවතීවි. එ්ක තමයි පපුවේ හරි මැද පිටුව. සමහර වෙලාවට එ් පිටුව දැන් කහ ගැහිලා අැති. දිරලා වියපත් වෙලා අැති. එ්ත් එ් සුවඳ තාමත් එතනැති නොවෙනස් ව.

අළු යටින් වුණත් දළුලන්න අැහැකි හැඟීමක් ප්‍රේමය. ප්‍රේමය විඳින්න දෙපාර්ශවයක් ගතින් එකිනෙකා හා ස්පර්ශ විය යුතු ම ද? නෑ... එ්ක මහ බොරු කතාවක්. ගතින් එක්වුණත් හිතින් අපි තව තැනක නවතින අවස්ථා එමටයි. අපි හැමෝගෙ ම ජීවිත වල හිත නැවතුණ තව එක තැනක් තියෙනවා. තනියෙම කන්දීලා බලන්න හදවතට පොඩ්ඩක්. අැහේවි එ් තැන පුපුරුගහන දෝංකාරය. හැබැයි එ්ක අැහෙන්නෙ අපිට ම විතරයි.

සමහරු ප්‍රේමය ගැන ලියන්න බයයි. බොළඳයි කියලා හිතනවා. අැත්තට ම ප්‍රේමය විඳින්න පුළුවනි නම් එ්ක ලියද්දි බොළඳ වෙනවා ද? 'බොළඳ' කියන්නෙ මොකද්ද? අැයි අපි විඳින දේ අකුරු කරන්න එච්චර ලැජ්ජ? එ් ලැජ්ජාව, බය තමයි මං හිතන්නෙ "බොළඳකම".
ඔයාලට මෙහෙම දැනිලා නැද්ද කවදාවත් ම ;
අපේ හිත අපි තනිවෙන හැම මොහොතක ම වගේ හරි වේගයෙන් එ් මේ අත දුවනවා. සමහර වෙලාවට දුවලා දුවලා හති වැටිලා නවතින්නෙ අැස් දෙකෙන් දාඩියත් පෙරාගෙන. හරියට බය වෙලා වගේ. එකවර ම ගල් ගැහිලා එක රුවක් දිහා හුඟක් වෙලා බලාගෙන ඉඳලා නැද්ද කවදාවත් ම? හීනෙන්වත්....

හිත පිච්චෙන්න වගේ පපුව රත්වෙච්ච අවස්ථා නැද්ද? දිගු සුසුම් කෙටි සුසුම් අතර විටින් විටවත් ගැටිලා නැද්ද? කාටත් හොරෙන් වළලාපු මතක ගූගල් ස්ට්‍රීට් වීව් ගිහින් ගොඩ දදා බලලා ම නැද්ද ඔය අැඟිලි තුඩු වලින්? අඩුම තරමේ එයාගෙ හොඳ ම යාළුවගෙන්, සහෝදරියකගෙන් "එයා හොඳින් නේද?" කියලාවත් පුංචි මැසේජ් එකකින් හොයලා බලලා නැද්ද? තාමත් එයාගේ උපන්දිනේ දවසට ඉබේම ටයිප් වෙලා සෙන්ඩ් වෙන මැසේජ් එකක් කෙටිලා ම නැද්ද?

ඔන්න දැන් දැන් ටික ටික හීරෙන්න පටන් ගන්නවා නේද හිත? ෆේස් බුක් වල එයාගෙ නම කොට කොට හොයලා හති වැටිලා නැද්ද? පරණ නම්බර් ඔක්කෝට ම එකපාරක්වත් රින්ග් වෙනවද කියලා ට්‍රයි කරලා ම නැද්ද? ඉඳලා හිටලා හරි කොහේ හරි යද්දි කළුවා මාරපන ගියා වගේ එ් පාර පැත්තෙන් කැරකිලා ගිහින් ම නැද්ද? බස් හෝල්ට් ළඟින් යද්දි එ් රූපේ හොයලා ම නැද්ද? එයා යන එන තැනක ඩිංගිත්තක් හරි දැකගන්න නොපෙනෙන්න මඟ රැකලා ම නැද්ද?

එ් තමා අර පිටුවේ හැටි. එ්ක කියවගන්න හරි ම අපහසුයි. වේදනාවයි. වෙලාව යනවා දැනෙන්නෙ ම නෑ. අැස් වලට වඩා හිත නිදිවරන දවස් එමටයි අපේ මේ ජීවිත අැතුලේ. සිත්තරෙක් චිත්‍රයක් පාට කරද්දි සුදුසු තැනට සුදුසු පාට තෝර තෝර පාට ගන්වනවා වගේ අපි අපේ චිත්‍රය විටින් විට පාට කර කර බලන්න අැති. එ්ත් යම් තැනකදි එ් චිත්‍රයේ බොඳවෙන්න අැති. හිස් තැන් පසුව පෙනෙන්න ගන්න අැති. එ්වා ඉතුරු පාටකින් පාට කරන්න ගිහින් චිත්‍රය ම කෙළවගන්න අැති. අන්තිමට විසිකරන්න බැරුවට චිත්‍රය බිත්තියෙ එල්ල ගන්න අැති. අපි හැමෝම අඩු වැඩි වශයෙන් එහෙම තමයි. මේක අැත්තට ම චිත්‍රයක් *"තව ටිකක් ලොකු වුණා ම අඳිනවා" කියලා හිතන. එ්ත් එ්ක අපි හිතන මට්ටමට නිම කරවගන්න අපහසුයි.

* නාමල් ජයසිංහ සහෝදරයා විසින් රචනා කොට අධක්ෂණය කරන ලද "සහෝදරයා" නාට්‍යයෙන් උපුටා ගත් කෙටි දෙබසක කොටසකි.


Sunday, February 25, 2018

කවි

නාය ගිය කඳු මුඳුන්
අහස දෙස බල බලා
හූල්ලනු දුටුවා ද ?
තෙත් වෙච්ච අැස්වලින්...

කවි

වසාගෙන ඉමි නෙත් කෙවෙනි යට
හංගගෙන හදවත හොරෙන්
පංගුවක් ඉතිහාසෙ වත ගොත
වංගුවක් ගෙන කඳුළකින්
පස්ස හැරි හැරි බලා යන්නට
මුවා වී කන්තෝරුවෙන්
පැය ගණන් මං බලන් උන්නා
තත්පරත් ගැන ගැන හිතින්...

මේ ළඟ දි නුඹේ අකුරු මිණිකැට
හමුවුණා ගෙයි පතලකින්
තැනින් තැන කහ ගැහිලා තිබුණා
දියවෙලා ගිය සෙනෙහසින්
අරන් දෝතට අැරලා බැලුවා
සන්නසේ දොරගුළු ඉතින්
කළුවරේ හිත ගණන් හැදුවා
අැවිලිලා ගිය මතකයන්...

Sunday, February 18, 2018

විවිධ

ප්‍රේමය ඉපදෙන්නෙ වැලන්ටයින් දවසට විතර ම ද ?

අද වෙද්දි ප්‍රේමයත් විලාසිතාවක් වෙලා. අැත්තට ම අපි ජීවත් වෙන මේ මොහොතේ ප්‍රේමය, අාදරය විතැන් වන්නේ කුමන දිශානතියක ට දැයි විමසිය යුතු ම කාරණාවක්.
අපිට ප්‍රේමය යනු මෙයයි යන්න නිර්වචන සපයන්න අපහසුයි. ප්‍රේමය කියන්නෙ හුදෙක් ම විරුද්ධ ලිංගික අාකර්ෂණය ට එහා ගිය මානව හැඟීමක්. එය කිසිඳු සීමාවකින් සිතියම් ගත කරන්න බැරි බැඳීමක්. සමහරු විවාහය කියන නෙෙතික පවරාගැනීමේ කාර්යයෙහි ප්‍රාථමික අවධිය 'ප්‍රේමය' යැයි හඳුනාගෙන තිබීම ම ඛේදවාචකයක්. අැත්තට ම ප්‍රේමය සංස්කෘතික රාමුවක ට කොටු කළ හැකි ද?

" ප්‍රේමය ලොව හැමතැන ම අැති... හැම දෙනට ම හමුවෙලා අැති... එනමුදු ප්‍රේමය කිමැයි කියා... හඳුනාගත් කිසි කෙනෙකු නැති "

ඔව් අැත්තට ම අපි ප්‍රේමය හඳුනාගෙන නෑ. දැන් කොල්ලෙක් කෙල්ලෙක් එක්ක , කෙල්ලෙක් කොල්ලෙක් එක්ක සබඳතාවයක් ගොඩනැඟෙන්නේ බොහෝ දුරට මේ තරඟකාරි සමාජ ෆැන්ටසිය අැතුලේ අනෙකාට දෙවැනි වෙන්න බැරි කමට. ඊට පස්සේ එ් අාදරය ප්‍රදර්ශනාත්මක ප්‍රකාශනයක් විදියට සමාජයට ප්‍රක්ෂේපනය කරනවා. එතන දී ලබන තෘප්තිය ඔවුන් ප්‍රේමය යැයි අර්ථකථනය කරගන්නවා. හිත් අමනාපකම් වුණ වහා ම අත්පය කපා ගන්නවා, පැනඩෝල් බොනවා. සබඳතාවය ට තිත තැබැණු විටෙක වහ බොනවා, ගෙල වැළ ලා ගන්නවා, කෝච්චියට පයිනවා. තව තව දේවලුත් වෙනවා. එ්වා අපි දන්න කියන ප්‍රසිද්ධ රහස් මේ දුපතේ සිද්ධවෙන.

ප්‍රේමය හා රාගය :

ප්‍රේමයක් පවතින්න රාගයත් යම් තරමකට ඉවහල් වෙනවා. සංස්කෘතික රාමුවෙන් එහාට හෘද සාක්ෂියෙන් විමසුවහොත් අපට එය වැටහේවි. නමුදු දැන් ඉන්න හුඟක් අය "ලව්" / "සෙක්ස්" පටලවාගෙන තිබීමයි ගැටලුව. එ්ක මේ හැම පාර්ශවයක ට ම පොදුයි. සිතින් පමණක් අාදරය කරන අයත්, ගතින් විතරක් අාදරය කරන අයත්, සිතින් ගතින් දෙකෙන් ම අාදරය කරන අයත් අපට මේ සමාජය දෙස විපරම් කළහොත් හඳුනාගන්න අපහසු නෑ. එ්ත් ප්‍රේමය කියන හැඟීම ඔය කාරණාවේ දී කොතෙක් දුරට විකාශනය වෙනවා ද යන්න අවබෝධ කරගත යුතුයි. එය එකිනෙකාට සාපේක්ෂයි.

ප්‍රේමය කියන්නෙ පෙම්වතෙකු පෙම්වතියක අතර අැතිවන හැඟීමක් විතර ම ද?

ප්‍රේමය කියන්නෙ එතැනට සීමා කළ නොහැකි හැඟීමක්. බැඳීමක්. පෙම්වතෙකු පෙම්වතියක අතර, දරුවෙකු දෙමාපියන් අතර, මිනිසෙකු සොබාදහම අතර, මිනිසා සහ සෞන්දර්යය අතර, මිනිසුන් මිනිසුන් අතර වැනි පුළුල් පරාසයක ප්‍රේමය විහිදෙනවා. නමුත් නූතනයේ මිනිසුන් එතරම් ප්‍රේමණීය දැයි ප්‍රශ්නාර්ථයක්. එයට මේ මොහොතේ පවතින දේශපාලනික, සමාජයීය හා අාර්ථික සිද්ධීන් සාක්ෂි සපයමින් ඉන්නවා.

අනෙක් ලේබල් ගලවලා දාලා "ප්‍රේමය" අපේ අාගම කරගත්ත දවසක "ප්‍රේමණීය මිනිසුන්" මේ මහ පොළොවේ ඉපදේවි.

කතා

- බ්රේකින් නිව්ස් විත් බ්රෝකන් හාර්ට් -

අැක්සිඩන්ට් එකක්. ගිනි දැල් බදාගෙන දුම් වළලු අහසට දුවයි. තාප්පයක් කුඩු. වාහනේ අළු. වට පිටේ ප්‍රේක්ෂකයෝ ගොන්නක්. කටවල් වහගෙන අැස් ගෙඩි උලුප්පා ගෙන. මොහොතක් ගෙවෙයි. පොලීසිය වටලයි. හමුදාව ගිනි නිවයි.

උෟ හම්බයෙක් ලු බං.

අපෝ ඔ්කුන් මැරෙන එකමයි හොඳ.

අනේ ඔව් මුන් හිටියොත් කොටින්ට වඩා හපන්.

වටපිටෙන් ජාත්‍යාලයෙන් පිරි රුදු වදන් ඉගිලෙයි. මාධ්‍ය අායතන අැවිලෙන ගින්නට පිදුරු දමන්නට පැමිණ අැත.

ඔබ හිටිය ද මේ අනතුර වෙන වෙලාවේ ? මොකද්ද මේ වුණේ?

අනේ නෑ මහත්තයෝ අපි අාවේ දුම් දාද්දි මොකද්ද මේ ගින්න කියලා බලන්න.

කිසිවෙකු අනතුර ගැන වගක් දන්නේ නැතිය.

නින්ද ගිහින් කියලයි කියන්නෙ.

මිනිය අඳුනගෙන ලු.

මිනිහා රගර් ගහන බුවෙක් ලු නේ.

ඔව් ළමයි දෙන්නෙකුත් ඉන්නවා ලු.

පව් වැඩේ ළමයි, ගෑනු.

පිස්සු ද බං. ඔය හම්බයෝ මේ රටෙන් චුත වෙන තරමට හොඳයි.

යකෝ මේක බෞද්ධ රටක්. එ්ක මතක තියා ගනින්.

ඔව්, කොච්චර අමාරුවෙන් ද තිස් වසරක යුද්ධය නිමා කළේ. එතුමන් ට පින් සිද්ධ වෙන්න අපි අද පාරේ බැහැලා යනවා.

එ්ක අැත්ත.

හ්ම්ම්... මං යනවා බං. ඔ්වා ගැන කතා කරන්න ගියොත් උඹලා මිනී මරුවෝ ගානට වැටිලයි නවතින්නේ.

අනේ පලයං බං යන්න.

උඹලා මේ සහජීවනයක් ඉස්සරහට දා ගෙන බම්බුවක් කියනවා.

මුන් වගේ උනුත් මේ රටේ ඉඳලා වැඩක් නෑ බං.

ඔව් බං. උඹලා වගේ සත්තු එක්ක මිනිස්සුන්ට වාසය කරන්න අමාරුයි මේ දූපතේ.

අඩෝ මේ... යාළුවා කියලා බලන්නෙ නෑ. යකෝ මේක සිංහල අපේ රට.

දේශද්‍රෝහියෝ බං මුන්. මුන්ට රට ගැන කැක්කුමක් නෑ.

වටපිටේ සීරුවට යන ගැටුමක් නැංගුරම් ලා ගෙන ය. උණුසුම් ය. දිය යටින් ගින්දර දළුලයි. වචන පොරබඳියි.

අපි එක්ක ඉන්නෙ සර්පයෝ මැණික. උන්ගේ විස දළ මං අදයි දැක්කේ.

මං ඔයාට කියලා තියෙනවානේ අයියේ. මිනිස්සු හැමෝම එක වගේ නෑ.

නෑ මැණික, මෙහෙ මිනිස්සු නෑ. සත්තුන්ට සමාන කරන එකත් අසාධාරණයි.

ඔව්, සත්තුන්ට ඔය ලේබල් නෑනේ අයියේ.

එ් මනුස්සයගේ ගෑනිගේ, ළමයිගේ ජීවිතේ ට එකතු වුණේ සදාකාල්ක කඳුළු කියලා අැයි මැණික උන්ට නොතේරෙන්නෙ?

මට තේරෙනවා අයියේ.

ඔයාට තේරුණාට උන්ට තේරෙන්නෙ නෑනේ මැණික. එ් වගේ වාහනයක් තාප්පයක හැප්පිලා ගිනි ගන්න කිසිම හේතුවක් නෑ.

අනේ මගේ රත්තරං අයියේ ඔයා ඔ්වා කතා කරන්න යන්නෙපා. දන්නවානේ උන්ගේ හැටි. අයියවත් උස්සයි. මට අයියව නැති කරගන්න බෑ.

ඔච්චර අාත්මාර්ථකාමී වෙන්නෙපා මැණික ඔයා. හෙට මට ඔ්ක වුණත් ඔයාටත් උරුම වෙන්නෙ අර ගෑනිට සිද්ධ වෙච්ච දේ ම යි. මගේ ළමයින්ටත් වෙන්නෙත් සදාකාලික කඳුළු එක්ක හිනාවක් මවාගෙන ඉන්නයි.

හ්ම්ම්...

මේක දැන් හුස්ම ගන්න සුදුසු දූපතක් නෙවෙයි මැණික. මට නම් දැන් මේ මඟුලේ ඉන්න අප්පිරියයි. අැත්තට ම මේක බිලී ගන්න සුළි තියෙන සයුරකින් වටවෙච්ච ඔක්ෂිජන් අඩු දූපතක්.

හ්ම්ම්...

ඔයත් උන් වගේ ම හ්ම්ම් ගගා ඉන්න.

ඉතිං මං මොනා කියන්න ද අයියේ. මට ඔයාවයි වටින්නෙ. එච්චරයි.

මං කියලා නොහිතා. අපි කියලා හිතන්න. ඔය මට තියෙන අාදරෙන් ඩිංගිත්තක් හරි මේ සමාජයටත් තිබ්බා නම් තමයි අපේ අාදරේ මේ දූපතෙන් එහාට යන්නෙ.

මං  ද පලි දැන්?

නෑ නංගි. ඔයාට වගේ ම මේ දූපතේ ජීවින්ට නොතේරෙන දේත් ඔ්කමයි.

අපි දැන් ඔය ගැන කතා නොකර ඉමු අයියේ.

ඔව් ඔයා හරි. මේ දූපතේ හුඟක් දේවල් කතා නොකරන ගොළු අවකාශයක වැළලිලා හමාරයි. එ්වා ගොඩ දාද්දි ඊටත් වඩා තව බොහෝ දේ වැළලුණා. මේක මුහුදට වඩා කඳුළු වලින් වටවෙච්ච හිනා සාගරයක් මැණික.

අපි දැන් යමු. දැන් ඔය අැති බිව්වා.

කවි

පාළු සුයාමය

මේ රෑ හීතලට
පොරවගෙන අපේ මතක
ගුලි වෙලා නිදියද්දි
අැහැරෙන්නේ ම නුඹ

තිගැස්සී අපේ පෙම
සොයනවා තව ම
හිටි හැටියේ මැකී ගිය
හීනයක සේයාව

රෑබදුල්ලන් හඬන
මේ පාළු සුයාමය
රිදුම වුව මනරම් ව
පාරවයි අතීතය

නොනිදා කොහොම ඉන්නද
අැස් කෙවෙනි කකියන විට
තනිවෙන්න දෙන්ට බෑ
අරුණලු හිනැහෙන හෙටට...

කවි

පහළොස්වක රැයක...

තබන්න ට හාදුවක්
අන්සතු මලක කොපුලත
අවසර නැද්ද ?
දුර ඉන්න සමනල හිතකට

සඳ වඩින සඳ අහසට
තරු පොකුරු අැවිටිලි කරාවි ද ?
වළාකුළු බැමි කඩාගෙන
යමුද අපි සමනල වසන්තෙට

සංසාර සෙවනැල්ල ඔස්සේ
නුඹ සහ මම,
වස්සාන සිහිනයට පිවිසෙමු ද
පහළොස්වක රැයක...