Thursday, June 28, 2018

කතා


'එයා තමයි අපේ වත්තෙ හිටිය ලස්සන ම කෙල්ල' කියලා මට කියන්න හිතක් නැති වුණත් අැත්තට ම එයා තමයි මගේ හිතේ හිටපු සුන්දර ම කෙල්ල. එයාට තිබ්බෙ බොරපාට බළල් අැස්. එ්වා හරි ලොකුයි. ඊටත් වඩා හිත ගියේ මට එයාගේ දිග ම දිග නොවුණත් කැරළි ගැහුණ මඳක් අවුල් වෙලා වගේ තිබ්බ කොණ්ඩෙට. එ් අවුල හිතේ කිසිම අපුලක් අැති නොකරපු අවුලක්. එයා සුදු නෑ. කළුත් නෑ. තලෙළුයි කියලා කිව්වට එහෙමමත් නෙවෙයි. අනේමන්දා, එ්කට වෙන්නැති පැහැපත් කියන්නෙ. මට එ්ක කියන්න හරි හැටි තේරුමක් නෑ.

අපේ වත්තෙ පහළ කෙළවරේ ම තිබ්බා පුංචි පිං ළිඳක්. ඊට එහායින් වෙල. හරි ම ලස්සනයි එ් වටපිටාව. පිං ළිඳේ නාන්න යන්න පොරේ අපි එ් දවස්වල. එ්ත් දැන් එ් ළිඳත් නෑ. වෙලෙන් බාගෙකුත් නෑ. ඉතින් මං දැන් එයාව දකින්නෙ හරි කලාතුරකින්. එළියට පහළියට බහින්නෙත් නැති තරම් දැන් එයා. මට තේරෙන්නෑ මොකද්ද මේ වෙනස...

වටපිටාවේ තිබ්බ ගෙවල් පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙන්න පටන් ගන්නවත් එක්ක ම අපේ ගේත් ටිකක් වෙනස් වෙන්න පටන් ගත්තා. අපේ කොන්ක්‍රීට් වැට අස්සෙන් බැලුවා ම දැන් වටෙන්ම අැහේ වදින්නෙ නානාප්‍රකාර අායිත්තම් වැඩ දාපු සිමෙන්ති ගලෙන් බැඳපු තාප්ප. එක එක පාට යි. හුඟක් ගේට්ටු නම් හැබැයි කළුපාට. අපේ ගේට්ටුව ග්‍රිල් ගේට්ටුවක් නිසා ගෙයි සාලෙට ම ඔ්ප දූප ටික පේනවා. අපේ මිදුලේ ඉස්සරහ කෙළවරේ තිබුණා යාේධ බට පඳුරක්. එ්ක ළඟ ම අප්පච්චි හදලා තිබුණා කොන්ක්‍රීට් වට මේසයක් ගල් බංකුත් එක්ක. මං ගෙදර අාපු දාට වැඩියෙන් ම කල් අැරියේ එතන ඉඳන්. ඉඳගෙන ටික වෙලාවක් යද්දි පස්ස රත්වෙන්න අැල්ලුවත් මං හරි කැමතියි එතනට. හුළඟක් අැගේ වැදුනේ එතන දි විතරයි.

මේ ළඟදි දවසක කාලෙකින් මං එයාව දැක්කා. එයාගේ අම්මත් එක්කලා කොහෙදෝ යන්න එළිබැස්සා. මං විගහට අැදුනේ බට පඳුර ගාවට. එයත් මාව දැක්කා. හිනාවුණා. එයා හරි ම අහිංසකයි. නිරහංකාරයි. නිහතමානියි. එ්ත් මොකද්දෝ අමුත්තක්, වෙනසක් දැනුණා මට. හිතාගන්න අමාරුයි. මොකද්ද මේ වෙනස...

"කොහෙද නැන්දේ, බැහැරක්වත් ද?"

"ඔව් පුතේ, කොළඹ යනවා"

"අර මොකද නැන්දේ තකහනියේ?"

"අද මේ කෙලීගේ ක්ලීනික් දවසනේ..."

එදා එයා කොළඹ ගියේ හැට් එකකින් මුළු කොණ්ඩෙ ම හංගගෙන. හැබැයි එ් අැස්වහ වදිනවට නම් නෙවෙයි කියලා පස්සෙ මට තේරුණා. වුණේ මං හිටි තැන ම අපුලක් නැතුව ගල් ගැහුණ එක විතරමයි.


No comments:

Post a Comment